
හැංගිමුත්තං කතාව – ළමා කතන්දර
පුංචි දරුවන් වෙනුවෙන් ඉතා උසස් මට්ටමේ පින්තූර කතා පොත් හොයන ඔබට ඒ පොත් පිළිබඳව හඳුන්වා දෙන්නටයි මේ උත්සාහය. ඉතින් කතාව සහ චිත්‍ර අරුණ කීර්ති ගමගේ විසින් නිම කළ IBMC ආයතනය විසින් ප්‍රකාශයට පත් කළ මේ පින්තූර කතා පොත ඔබේ දරුවාට සුවිශේෂී අත්දැකීමක් වේවි.
“හැංගිමුත්තං” අලංකාර වර්ණයෙන් යුතු සිතුවම් සහිතයි. ඒ වගේ ම පාසල් පුස්තකාල පොතක් වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය සහිත පොතක් ලෙස හඳුන්වන්නට පුළුවන්.
ආරම්භයේ සිටම අවසානය දක්වා දරුවාගේ කුතුහලය ආරක්ෂා කරමින් රසවත් කතාන්දරයක් ලෙස වචන සහ සිතුවම් ඔස්සේ දිගහැරීමට කතුවරයා සමත් වී තිබෙනවා.
ඒ වගේම ඒකාකාරී වර්ණ රටාවෙන් බැහැර වී ඇති නිසා දරුවන්ගේ නෙතට එය ප්‍රිය දසුනක් ද වෙනවා.
කියවීම ආරම්භ කරන දරුවන් වෙනුවෙන් වගේ ම , අකුරු දන්නැති දරුවන්ට වැඩිහිටියන් විසින් පහසුවෙන් කියවා දිය හැකි පොතක් ලෙස ද මේ පොත හඳුන්වන්නට පුළුවන්.
එහි ඇති සුන්දර කෙටි බස් වහර නිසා දරුවාට පහසුවෙන් කතාව අවබෝධ කර ගත හැකි වනවා. පින්තූර කතා පොතක අරමුණු වලින් එකක් වන්නේත් එයයි. ඒ වගේ ම කතාවට අමතරව දරුවාට චිත්‍ර කියවීමට ද අවස්ථාව ලබා දීම හරිම වැදගත්.
හැංගිමුත්තං කතාව ඇරඹෙන්නේ
“අද හරි ලස්සන දවසක්! කෝ මගෙ පොඩි යාළුවෝ ? යනුවෙන් පවසමින් සුන්දර කුඩා දැරිවියක් සිය ගෙවත්තට පිවිසීමෙන්. ඉදිරි පිටු පෙරලද්දී ඇයගේ යහළුවන් එකින් එක අපට හඳුනාගන්නට පුළුවන්.
රිද්මයානුකූල බස් වහරකින් කතාව ගොඩනැංවී ඇති නිසා එය තවත් මිහිරි අත්දැකීමක් දරුවා වෙතට තිළිණ කරනවා.
හැංඟි මුත්තන් කෙළියේ දී කුඩා දැරිවිය සහ ඇයගේ මිතුරන් විවිධ අත්දැකීම්වලට මුහුණ දෙමින් සතුටින් යුතුව ක්‍රීඩාවේ නියැලෙනවා.
කුඩා දරුවන්ට රසවත් කතාවක්, සුන්දර සිතුවම් සමග රසවිදීමේ හැකියාව මෙම පොත විසින් උරුම කර දී තිබෙනවා.ඉතින් ඔබේ පොඩිත්තාගේ පොත් රාක්කයට අනිවාර්යයෙන්ම එකතු කළ යුතු පොතක් ලෙස වගේ ම ත්‍යාගයක් ලෙස තවත් පොඩිත්තතෙකු ගේ ලෝකයක් ආලෝකමත් කිරීමට මේ පොතට වගේ ම ඔබටත් හැකියාව තිබෙනවා.